මහනුවර දළදා පෙරහැර

මහනුවර දළදා පෙරහැර

Reading Time: 17 minutes
5/5 - (10 votes)

මහනුවර දළදා පෙරහැර හෙවත් මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යය  ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ විෂයෙහි පූජෝපහාරය පිණිස පැවැත්වෙන ප්‍රධානතම  ආමිස පූජාව ලෙස හැදින්විය හැකි ය. ශ්‍රී ලාංකික බෞද්ධ ජනතාවගේ මුදුන් මල්කඩ යනුවෙන් හැඳින්වෙන්නේ මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවයි. ඒ නිර්මල බුද්ධ වචනයේ පහස ලද ගෞතම බුදුරජාණන් වහන්සේගේ වාම ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ එහි විරාජමානව වැඩ හිදිනා බැවිනි. අතීතයේ සිට වර්තමානය දක්වා ම ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ උදෙසා සිදු කරනු ලබන පූජෝපහාර පෙරහැර මංගල්‍යයන් ඉතා ගෞරව පූර්වක ව චිරාගත සම්ප්‍රදායන්ට අනුකූල ව පූර්ණ රාජ අනුග්‍රහය සහිත ව සිදු කරනු ලබයි.

දළදා පෙරහැර ලක්දිව ප්‍රධානත ම බෞද්ධ ආගමික උත්සවයක් ලෙසත් වැදගත් සංස්කෘතික උත්සවයක් ලෙසත් ලොව පුරා ඉමහත් ප්‍රසිද්ධියක් උසුලයි. ඇසළ පෙරහැර මංගල්‍යය ශ්‍රී ලාංකික බෞද්ධ ජනයා බුදුරජාණන් වහන්සේට හා දන්ත ධාතුන් වහන්සේට දක්වන අප්‍රමාණ ගෞරවය හා ශ්‍රද්ධාවත්, දෙවි දේවතාවුන් වහන්සේලාට දක්වන භක්තියත් නිරූපණය කරයි. සෙංකඩගල ඇසළ පෙරහැර, නුවර පෙරහැර, කන්ද උඩරට පෙරහැර, මාලිගා පෙරහැර  යන නම්වලින් හඳුන්වනු ලබන ඇසළ පෙරහර අද වන විට විවිධ සංස්කෘතික අංග සහ කලාත්මක අංගයන්ගෙන් පිරිපුන් වී ඇත.

සෙංකඩගල දළදා පෙරහැර යනු දේශීය අනන්‍යතාවය පිළිබිඹු වන විවිධ සංස්කෘතික කලා අංග රාශියක් ඇතුළත් දේශයේ ප්‍රෞඪත්වය හා අභිමානය පිළිබිඹු කෙරෙන ජාතික උත්සවයකි. අතීත සෙංකඩගලපුර ඇසළ පෙරහැර ආගම කලාව සහ දේශපාලන බලයේ සුසංයෝගයක් බව විද්වතුන්ගේ අදහසයි. දළදා පෙරහැර පැවැත්වීම මඟින් නියං සමය අවසන් වී කලට වේලාවට වැසි ලැබෙන බවත් රාජ්‍යය සෞභාග්‍යමත් වන බවත් අතීතයේ සිට පැවත එන විශ්වාසයයි.

තව ද දළදා පෙරහැර නැරඹීමෙන් ලෙඩරෝග දුරුවීම හා අපල උපද්‍රව දුරුවන බව බොහෝ දෙනාගේ පිළිගැනීම වන අතර විශේෂයෙන් කුඹල් පෙරහර නැරඹීමෙන් කුඩා දරුවන්ගේ සියලු දොස් දුරුවී රැකවරණය සැලසෙන බවට බොහෝ දෙනා විශ්වාස කරති.  එපමණක් නොව දිය කැපූ විගස එම ස්ථානයට ගොස් ස්නානය කිරීමෙන් ලෙඩ රෝග දුරුවී නීරෝගී සුවය ලැබෙන බව තවත් විශ්වාසයකි. එමෙන්ම දළදා පෙරහැර යනු ජාතීන් අතර සමඟිය හා සහජීවනය ශක්තිමත් කරන ජාතික උත්සවයක් ද වේ.

දළදා පෙරහැරෙහි චාරිත්‍රවාරිත්‍ර ඇසළ පොහෝ දිනයෙන් ආරම්භ වන අතර නිකිණි පොහොය දක්වා පැවැත්වේ. අතීතයේ සිට වර්තමානය දක්වා ම දළදා පෙරහැරෙහි නොවෙනස් ව පවතින චාරිත්‍රවාරිත්‍ර සමුදායකි. එම චාරිත්‍රවාරිත්‍ර ප්‍රධාන වශයෙන් පහත පරිදි වේ. නැකැත් රාළ විසින් පිළියෙළ කරනු ලබන නැකැත්වලට අනුව දළදා පෙරහැරට අයත් සියලු කාර්යයන් සිදු කරනු ලබයි. පෙරහැර පවත්වන දිනය හා වේලාවන් ගම් දහයේ විදානේවරුන්ට දැනුම් දෙනු ලබන්නේ කාරියකරවන කෝරාළ විසිනි. (උපුටාගනීමකි – By Sanduni Gunaratne)

Related Post: Sri Dalada Maligawa, Kandy, Sri Lanka

In the year of 310 A.D, prince Dantha and princess Hemamala had arrived in the island, Sri Lanka bringing the blessings of Lord Buddha’s Sacred Tooth Relic as they were given the responsibility by the King Guhasiva (father of Hemamala) in India. They are the descendants of Brahmadatta Royal Family who were given the responsibility to protect the Sacred Tooth Relic, since the death of Lord Buddha around 488 B.C.

දළදා වහන්සේ ලක්දිවට වැඩම කරවීම

දන්ත ධාතුව අයිතිකර ගැනීම සඳහා ගුහාශිව සමග යුද්ධයක් කිරීමට අසල්වැසි රාජ්‍යයක් විසින් ගන්නා ලද අන්තිම උත්සාහය, මෙම පූජනීය ධාතුන් වහන්සේ ඉන්දීය භූමියෙන් පිටට ගෙන යාමට හේතු විය. මෙම අවස්ථාව වන විට ලංකාවේ බුද්ධාගම ඉතා හොඳින් මුල් බැස තිබුනි. දිවයිනේ රජවරු බුද්ධාගම බිහි වූ ඉන්දියාවේ ප්‍රාන්තයන් සමග සමීප සබඳතා පවත්වාගෙන ගියහ. තමන් යුද්ධයෙන් පරාජය වීම‍ට ආසන්න යැයි බියට පත් කාලිංග පාලකයා ලංකාවේ පැවති තත්වයද සළකා දන්තධාතුව ශ්‍රි ලංකාවේ රජු වෙත යැවීමට තීරණය කළේය. දන්ත කුමරු සහ හේමමාලා කුමරිය වන්දනා කරුවන් සේ සැරසී දන්තධාතුව හේමමාලාගේ කේශ කලාපය තුල සඟවා ගෙන ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට පැමිණියහ.

ඉන්දියාවේ ශත වර්ෂ අටක් පමණ කාලයක් තිබුණ දන්තධාතුව, දන්ත සහ හේමමාලාවන් විසින් රහසින් ඉවත් කර ගත්හ. මෙම දෙදෙනා ගුහාශිව රජුගේ පුතා සහ දියණිය බව කියැවේ. කුමරා සහ කුමරිය සන්නාසියන් සේ වෙස් වලා ගෙන මග යන එන්නන් දකිතැයි බියෙන් දන්ත ධාතුව ආරක්ෂාව පිණිස කුමරියගේ කේෂ කලාපය තුල සඟවා ගෙන පැමිණි බව වාර්තා වේ. මෙම සිද්ධිය කොළඹට නොදුරු කැළණි විහාරයේ ඉතා රමණීය බිතුසිතුවමක් ලෙස සෝලියස් මැන්දිස් නම් කලාකරුවා විසින් විසි වැනි සිය වසේදී නිර්මාණය කර ඇත.

දන්ත සහ හේමමාලා දෙදෙන ඉන්දියාවේ ගංගා නම් නදි මුවදොර පිහිටි කාර්ය බහුල පැරණි වරායක් වූ තාම්රලිප්තියෙන් නැව් නැගී වර්තමාන ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ලංකාපට්ටන (වර්තමාන ඉලංගෙයිතුරෙයි) නම් නැව් තොටට ගොඩ බැස්සාහ. එසේ ලංකාවට එන ගමනේදි දන්ත ධාතුන් වහන්සේ ප්‍රාතිහාර්යයන් කීපයක් පෑ බවත් ඒ දැක සාමාන්‍ය ජනයා සහ දෙවි දේවතාවුන් නමස්කාර කළ බවත් වාර්තාවේ. අවසානයේ දන්ත ධාතුව ලංකාවේ එවකට අගනුවර වූ අනුරාධපුරයට වැඩම කරවා මහා මේඝ වනයේ මේඝගිරි විහාරයේ තැන්පත් කරන ලද බව සිංහල ග්‍රන්ථයක් වූ දළදා සිරිතෙහි සඳහන් වේ.

මහනුවර සෙංකඩගලපුර වැඩ සිටින වාම ශ්‍රී දළදා වහන්සේ බෞද්ධයාගේ පරම පූජනීය වස්තුවයි. දළදා වහන්සේ ලක්දිවට වැඩම කරවීමේ සුපින්බර පුවත නිසා අද දළදා සාහිත්‍ය ගැන සඳහන් පොත් පත් බහුල වී තිබෙයි. ලක්දිව කිත්සිරිමෙවන් රාජ්‍ය කාලයේ කළිඟු රටේ රජු යුද්දෙන් පැරදී රජුගේ දියණිය වූ හේමාමාලා කුමරිය , දන්ත කුමරු සමඟ බමුණු වෙස්ගෙන ලක්දිව අනුරපුරයේ ඉසුරුමුණිය වෙත දළදා වහන්සේ රැගෙන ආහ. පින්බර හේමමාලා කුමරිය බොහොම ශ්‍රද්ධා භක්තියෙන් දළදා වහන්සේ කරඬුවක තබාගෙන කෙස් කළඹෙහි සඟවා ගත්තේ එහි ආරක්ෂාවටයි. ඒ කරඬුව අදත් දළදා මාළිගාවේ කරඬුවෙහි විරාජමානව බැබළෙයි.

ශ්‍රී දළදා වහන්සේ ඓතිහාසිකසෙංකඩගල පුරවරයට පැමිණි ගමන් මග

අනුරපුරට වැඩම කරවූ දළදා වහන්සේ තැන්පත් කළ මාළිඟාව සොළී ආක්‍රමණයෙන් විනාශ විය. එම නිසා තිස්සමහාරාමයේ ථුපයක දළදා වහන්සේ තැන්පත් කළ බව පොත පතෙහි සඳහන් ය. එමෙන් ම සොළී ආක්‍රමණ අවසානයේ නැවත වතාවක් දළදා වහන්සේ් වැඩ සිටි ස්ථූපයෙන් වෙන්කරවා පොළොන්නරුවට වැඩම කරවූහ. මේ ඓතිහාසික පුවත පොත පතෙහි මෙන්ම තිස්සමහාරාමයේ සෙල්ලිපියක ද සඳහන් වෙයි. එබැවින් වාම දළදා වහන්සේ අනුරපුර යුගයේදී ම තිස්සමහාරාමයේ තැන්පත් කළ බව අපට පිළිගත හැකියි.

පොළොන්නරු යුගයේ දී දළදා වහන්සේගේ ආරක්ෂාව පතා පළමු වන විජයබා රජතුමා ඇප කැප විය. එතුමා තිස්සමහාරාමයේ වැඩසිටි දළදා වහන්සේ පොළොන්නරුවේ මාළිඟයක් තනා තැන්පත් කළේය. එහි ආරක්ෂාවට වේලයික්කාර ද්‍රවිඩ හමුදාවක් යෙදවූ බවට වේලයික්කාර සෙල්ලිපියට අනුව සඳහන් වෙයි. සෙල්ලිපිවල සඳහන් තොරතුරුත්, සාහිත්‍යය පොත පතෙහි සඳහන් තොරතුරුත් එකට ගැළපීමේදී ඒවා පසුකාලීන තොරතුරු ලෙස ඉතිහාසඥයන් විසින් විග්‍රහ කරනු ලැබ තිබේ. මෙසේ අනුරාධපුර යුගයේ දී දළදා වහන්සේට රැකවරණය සලසමින් බොහොම ශ්‍රද්ධාවෙන් පුද පූජා පැවැත්වූ අතර පසුව පොළොන්නරු යුගයේදී පළමුවන පරාක්‍රමබාහු රජතුමා බලයට පත් වූ අවස්ථාවේදී කාලිංග මාඝ යුද්ධයෙන් පොළොන්නරුව ආක්‍රමණය කළ නිසා දළදා වහන්සේ කොත්මලේට වැඩම කරවූහ. කාලිංග , මාඝ ආක්‍රමණය අවසානයේ දී තුන්වන විජයබා රජතුමා කොත්මලේ වැඩ සිටි දළදා වහන්සේ බෙලිගලට වැඩම කරවා තෙමහල් ප්‍රාසාදයක තැන්පත් කළහ. පළමු බුවනෙක බාහු රජතුමාගේ යුගයේ දී ආර්ය චක්‍රවර්තී විසින් දළදා වහන්සේ පඬි රටට රැගෙන යනු ලැබුවේය. එහි රාජ්‍ය කළ රජතුමාට දළදා වහන්සේ බාර දුන්නේය. ලක්දිව තුන්වන පරාක්‍රමබාහු රජතුමා පඬි රටේ රජතුමා සමඟ මිත්‍ර සබඳතා පවත්වා නැවත දළදා වහන්සේ ලක්දිව පොළොන්නරුවේ වඩා හිඳවූයේය.

එකල ලක්දිව රාජ්‍ය කළ තුන්වන බුවනෙකබාහු රජතුමා පොළොන්නරුවේ වැඩසිටි දළදා වහන්සේ දඹදෙණියට වැඩම කරවූවේය. මේ පින්වත් රජතුමා තමන්ගේ මාළිගාව සමීපයේම දළදා මාළිගයක් තනා එහි තැන්පත් කළ දළදා වහන්සේට දෛනිකව වත් පිළිවෙත් නිබඳවම සිදු කළේය. මුඛ පරම්පරාගතව ආ සිරිත් විරිත් තව දුරටත් ඉදිරියට රැක ගැනීමට අවශ්‍ය නිසා දාඨා ධාතු චාරිත්‍ර නමින් පොතක් ද රචනා කළේය.

හයවන පරාක්‍රම බාහු රජතුමාගේ කාලයේ දළදා වහන්සේ නැවත වතාවක් කෝට්ටේ රාජධානියට වැඩම කරවූහ. සංදේශ සාහිත්‍යයෙහි සඳහන් සේ දළදා මාළිඟයක් තනා දළදා වහන්සේ එහි තැන්පත් කළේය. මෙහිදී දළදා වහන්සේ වැඩ සිටි කුටිය බාර වූයේ හිරිපිටිය රාළටයි. ඉන්පසු රජ වූ අන්‍ය ආගමිකයෙක් වූ ධර්මපාල රජතුමාගේ කාලයේදී දළදා වහන්සේගේ ආරක්ෂාව සැලසුවේය. හිරිපිටිය රාළ විසින් දළදා වහන්සේ කොත්මලේ බෙංගමුව විහාරයට වැඩම කරවනු ලැබීය. සීතාවක රාජධානිය පෘතුගීසීන්ට යටත් වූ පසුව පළමුවන විමල ධර්මසූරිය රජතුමා දෙල්ගමුවේ වැඩ සිටි දළදා වහන්සේ මහනුවර සෙංකඩගල නුවරට වැඩම කරවූයේය.

Reference: dhammadeepa.lk

01 ඉන්දියාව
02 අනුරාධපුරයට
03 තිස්සමහාරාමයට
04 පොළොන්නරුවට
05 කොත්මලේට
06 බෙලිගලට
07 පඬි රටට
08 පොළොන්නරුවට
09 දඹදෙණියට
10 කෝට්ටේ රාජධානියට
11 කොත්මලේ බෙංගමුව විහාරයට
12 දෙල්ගමුවට
13 සෙංකඩගල නුවරට

“එකා දාඨා තිදස පුරෙ – එකා නාගපුරෙ අහු
එකා ගන්ධාර විසයෙ – එකාසි පුන සීහලෙ”

එක් දළාදා වහන්සේ නමක් තව් තිසාවෙහි වැඩ වාසය කරයි.
අනෙක් දළදා වහන්සේ නාග ලොවෙහි ය.
තවත් දළදා වහන්සේ නමක් ගාන්ධාරයේ ය.
අනේක් දළදා වහන්සේ සිංහල දේශයේ වැඩ වාසය කරන සේක.

අසිරිමත් මහනුවර ඇසළ පෙරහැර

මහනුවර දළදා පෙරහැර (සෙංකඩගල ඇසළ පෙරහැර)

කප් සිටුවීම

පෙරහැර මංගල්‍යයේ පළමු චාරිත්‍රයයි. පෙරහැරේ සියලු කටයුතු සාර්ථක ව ඉටුකර ගැනීමට දෙවියන්ගේ ආශිර්වාදය ලබා ගනු වස් නාථ, විෂ්ණු, කතරගම හා පත්තිනි යන සතර මහා දේවාල භූමියන්හි මෙම චාරිත්‍රය සිදු කරයි. පළමුව කොස් ගසක් හෝ රුක්අත්තන ගසක් තෝරාගෙන ගසට පුද පූජා කිරීමෙන් අනතුරු ව සුදු වතින් සැරසුණු විෂ්ණු දේවාලයේ ආවතේවකරුවෙකු විසින් සෞභාග්‍යය සංකේතවත් කිරීම පිණිස කිරි වෑහෙන පරිදි ගස කපා හෙළයි. පසුව එය කොටස් සතරකට බෙදා සතර මහා දේවාල භූමියන්හි සිටුවනු ලැබේ.

දේවාල පෙරහැර

සතර දේවාලයේ කපුවන් දේවාලයට අයත් රන් ආයුධ කප වටා වැඩම කරවන කුඩ , කොඩි , සේසත් , දවුල් , හොරණෑ සහිත පෙරහැර “දේවාල පෙරහර” ලෙස හැඳින්වෙනවා. මේ සඳහා අලි ඇතුන් හෝ පෙරහැර ශිල්පීන් වස්ත්‍රාභරණයෙන් සැරසීමක් සිදු නොවෙනවා. දේවාල රාජකාරි සිදු කරන ඇඳුම්වලින් සැරසී දේවාල පෙරහරට සහභාගි වෙනවා. තවත් සුවිශේෂී කරුණක් වන්නේ මේ සඳහා බැතිමතුන් සහභාගි කර නොගැනීමයි. මෙම දේවාල පෙරහැර පුරා දින පහක් සිදු කෙරෙනවා. මෙම පෙරහැර සතර මහා දේවාල ආශ්‍රිත ව පුරා දින පහක් සන්ධ්‍යා භාගයේ දී පැවැත්වේ. දෙවියන් කෙරෙහි භක්තියෙන් යුතුව පවත්වනු ලබන කුඩා පෙරහර මංගල්‍යයන් වේ.

කුඹල් පෙරහැර

පුරා දින පහක් වීදි සංචාරය කරන කුඹල් පෙරහැර ආරම්භ වන්නේ දේවාල අභ්‍යන්තර පෙරහැර අවසන් වූ පසුව ය. අතීතයේ දී අලුත් වළං කදක් ගත් කුඹලෙක් පෙරහරේ ඉදිරියෙන් ම ගමන් කිරීම මෙම පෙරහැර කුඹල් පෙරහැර යනුවෙන් නම් කිරීමට හේතු වී ඇත. නමුත් වත්මන් කුඹල් පෙරහැරෙහි එවන් චාරිත්‍රයක් දක්නට නොලැබේ. සතර මහා දේවාල පෙරහැර මාලිගාවේ පෙරහැර සමඟ එක්ව ගමන් කරන අතර මෙම පෙරහැරට ගම් දහයේ විදානේවරුන්, බෙර වාදකයින්, නැට්ටුවන් මෙන් ම අලි ඇතුන් ද සහභාගී වේ. මීට අමතර ව කාරියකරවන රාළ විසින් මාලිගාව තුළ තිබෙන මුරායුධ, පළිහ, සේසත්, රිදී උඩැක්කි, පන්තේරු, රිදී අත්පන්දම්, වඩන තල අතු ආදිය පිරිසිදු කොට ඒවා පෙරහැරට එක් කරනු ලැබේ. පෙරහැරේ ගමන් ගන්නා නිලමේවරුන්ගේ වස්ත්‍ර සුදු පැහැති ය. පෙරහැරේ ආලෝකය ද තරමක්  අඩු ය. එහෙත් දේවාල පෙරහැරට වඩා අලංකාරත්වයෙන් යුක්ත වේ.

රන්දෝලි පෙරහැර

කුඹල් පෙරහැරෙන් පසු ව ආරම්භ වන්නේ රන්දෝලි පෙරහැරයි. මෙය ඉතා අලංකාර ව විචිත්‍රවත් අයුරින් දින පහක්  පැවැත්වේ. අතීතයේ දී මෙම පෙරහැරේ රජතුමාගේ අග බිසව හෙවත් රන්දෝලි බිසව ගමන් කර ඇති නිසා මෙම පෙරහැර රන්දෝලි පෙරහැර වී ඇතැයි පැවසේ. වර්තමාන පෙරහැරේ රන්දෝලි යනුවෙන් හඳුන්වන්නේ දේවාලවල දේවාභරණ වැඩවවීම සිදු කෙරෙන දෝලාවලට යි. රන්දෝලි පෙරහැර ආරම්භයට පෙර මාලිගාවේ ප්‍රධාන දොරටුව අබියස දී කරඬුව රැගෙන යන ඇතා සරසනු ලබයි. පෙරහැරේ ගමන් ගන්නා නිලමේවරු ඇතුළු සියලු දෙනා පෙරහැර ආරම්භයට පෙර දියවඩන නිලමේතුමාට වැඳ අවසර ගෙන පෙරහැර හා සම්බන්ධවීම සිරිතකි.  දළදා පෙරහැර පිටත්වීමට පෙර වෙඩි හඬ තුනක් නිකුත් කරයි. පළමු වෙඩි හඬට සිව් මහා දේවාලවල පෙරහැර මාලිගාව අසළට ගමන් කිරීම ආරම්භ කරයි. එවිට පනික්කයෝ ගොස් දියවඩන නිලමේතුමා කැඳවා ගෙන එනු ලබන අතර දියවඩන නිලමේ විසින් නියමිත නැකතට අනුව දළදා කරඬුව ඇතු පිට තැන්පත් කරන්නේ තූර්ය නාද මධ්‍යයේ දී ය.  එවිට ම දෙවන වෙඩි හඬ නිකුත් කරන්නේ සාධාතුක කරඬුව ඇතුපිට රැඳි රන්සිවිගේ තැන්පත් කළ බව දැනුම් දීමට ය. අවසාන වෙඩි මුරයත් සමඟ පෙරහැර ගමන් අරඹන අතර ප්‍රධාන දොරටුව ඉදිරියේ දී දියවඩන නිලමේතුමාට සමන්පිච්ච මල් මාලයක් පැළඳවීම ද අතීතයේ සිට පැවත එන සිරිතකි.

රන්දෝලි පෙරහැරේ පිළිවෙලින් කසකරුවන්, ගිනිබෝල කරුවන් සහ බෞද්ධ කොඩි ගෙන යන්නන්, කොඩි ගෙන යන්නන්, පෙරමුණේ රාළ ,හේවිසි වාදකයන්, ගජනායක නිලමේ, ඇතුන් කිහිප දෙනෙකු, නැට්ටුවන් සහ බෙරවාදකයන්, කාරිය කෝරාළ, නැට්ටුවන් හා බෙරවාදකයන්, කවිකාර මඩුවේ ශිල්පීන්, දළදා කරඬුව රැගත් ඇතා හා දෙපස දෑලේ ඇතුන් දෙදෙනෙකු, වෙස් නැටුම් කණ්ඩායමක් හා බෙරවාදකයන් හා අනතුරු ව දියවඩන නිළමේතුමා ගමන් ගනියි. දළදා මාලිගාවේ පෙරහැරට පසුව නාථ දේවාලයේ පෙරහැර, විෂ්ණු දේවාලයේ පෙරහැර, කතරගම දේවාලයේ පෙරහැර හා පත්තිනි දේවාලයේ පෙරහැර පිළිවෙලින් ගමන් ගනියි. අවසන් රන්දෝලි පෙරහැර වන මහා රන්දෝලිය දුටුවන් නෙත් පැහැර ගන්නා සුළු ය. ඉතා අලංකාර ඇඳුම් ආයිත්තම්වලින් සැරසුණු අලි ඇතුන් මෙන් ම  පෙරහරේ ගමන් ගන්නා ශිල්පීන් ද පෙරහැර තවත් කළඑළි කරයි. වසර දෙසීයකට පෙර පැවති නර්තනාංග පවා තවමත් දළදා පෙරහැරෙහි දැක ගැනීමට හැකිවීම වාසනාවකි. එමෙන් ම උඩරට සම්ප්‍රදාය පදනම් කරගත් නැටුම් පමණක් මෙහි දක්නට ලැබීම ද දළදා පෙරහැරෙහි සුවිශේෂත්වයක් වේ.

මහා රන්දෝලිය

රන්දෝලි පෙරහරේ පස්වන දිනය හෙවත් අවසාන දිනය හඳුන්වන්නේ “මහා රන්දෝලි ය” යනුවෙනි.

පෙරහැරට අවසර ගැනීම

පෙරහැර ආරම්භ වන්නේ දියවඩන නිලමේතුමා නිසි අවසරය ලබා දීමෙන් පසුවය. එම නිසා දළදා පෙරහැර භාරව කටයුතු කරන කාරිය කරවන කෝරාළ , ගජනායක නිලමේ , කපුරාල වරු , ගම් දහයේ විදානේවරු , කම්කානම් රාළ , මොහොට්ටාල සහ වට්ටෝරුරාලලා පෙරහර ආයිත්තම් වලින් සැරසී දියවඩන නිලමේතුමා හමුවීමට පැමිණෙනවා. එය දියවඩන නිලමේතුමාගේ කාර්යාලයේ දී සිදු වෙනවා. දළදා තේවාව භාර සියලු නිලධාරීන් දියවඩන නිලමේතුමා ගෙන් අවසර හා ආශිර්වාද ලබාගැනීමෙන් පසුව දියවඩන නිලමේතුමා පෙරමුණේ රාල අතට “ලේකම්මිටිය” ද ගජනායක නිලමේ වෙත “රන් අංකුසය” ද පිරිනමනවා.

පෙරහැර වෙඩිමුර

සෑම දිනකම පෙරහැර පිටවීමට ප්‍රථම වෙඩිමුර තුනක් තබනවා. පළමු වෙඩිමුරය නිකුත්වීමත් සමගම සිව් මහා දේවාලවල පෙළ ගැසී සිටින සියලු පෙරහැර ශිල්පීහු සහ අලි ඇත්තු නියමිත පිළිවෙලට පැමිණ මාලිගාවේ පෙරහැර හා සම්බන්ධ වෙනවා.

දෙවැනි වෙඩි මුරය නිකුත් වන්නේ පළමු වැන්න නිකුත් වී මද වේලාවකට පසුවය. එයින් අදහස් කරන්නේ පෙරහැර සධාතුක කරඬුව ඇතුපිට රන්හිලිගෙයි තැන්පත් කළ බව ය. ඒ කටයුත්ත පැවරී තිබෙන්නේ දිය වඩන නිලමේතුමාටය.

තෙවැනි වෙඩි මුරය නිකුත්වන්නේ රන්හිලිගේ සහිත මංගල හස්තිරාජයා දළදා පෙරහරට එකතු වීමෙන් අනතුරුව පෙරහර ආරම්භ කළ බව දැනුම් දීමටය.

පෙරහරට එකතු වන අනෙකුත් අංගයන් පිළිවෙලින්

  • කසකරුවන්
  • බෞද්ධ කොඩිකරුවන්
  • පලාත් කොඩිකරුවන්
  • අසිපත් ධාරීන්
  • ගිනිබෝලකරුවන්
  • පෙරමුණේ රාල
  • පනික්කියන්
  • ගජනායක නිලමේ
  • මගුල් බෙරකරුවන්
  • ඇත් පන්ති
  • පොල් මල් නැට්ටුවන්
  • හොරණෑකරුවන්
  • තම්මැට්ටම්කරුවන්
  • දවුල්කරුවන්
  • තාලම්පොටකරුවන්
  • පතුරු නැට්ටුවන්
  • සවරන් නැට්ටුවන්
  • ලී කෙලි නැට්ටුවන්
  • පන්තේරු නැට්ටුවන්
  • හවඩි දඟයා
  • වේවැල් වියන්නන්
  • උඩැක්කිකරුවන්
  • රබන් නැට්ටුවන්
  • ගැට බෙර කරුවන්
  • නෛයන්ඩි නැට්ටුවන්
  • උඩරට වෙස් නැට්ටුවන්
  • කාරිය කෝරාළ
  • නාගසිංගම් වාදනය
  • මංගල හස්තියා
  • දෑලේ ඇතුන්
  • කවිකාර මඩුව
  • දියවඩන නිලමේතුමා
  • නාථ දේවාල පෙරහැර
  • විෂ්ණු දේවාල පෙරහර
  • කතරගම දේවාල පෙරහැර
  • පත්තිනි දේවාල පෙරහැර

දිය කැපීමේ මංගල්‍යය

ඉතා උත්කර්ෂවත් ව පවත්වන ලද අවසන් රන්දෝලි පෙරහැර වෙන දා මෙන් මාලිගාවට ගෙවදින්නේ නැත. එදින පාන්දර පෙරහැර ආදාහන මළුව වෙත ගමන් කර දළදා කරඬුව ගෙඩිගේ විහාරයේ තැන්පත් කරනු ලබයි. අනතුරු ව ගැටඹේ තොටේ දී දිය කැපීමේ මංගල්‍යය සිදු කරයි. එහි දී සිදු වන්නේ දේවාල කපුවන් ඔරුවෙන් ගඟ මැදට ගමන් කර ගඟ මැද දී දිය දෙබෑ වන සේ රන් කඩුවකින් ගසා අලුත් දිය බඳුනක් පුරවා ගැනීමයි. මෙසේ ලබාගන්නා ජල බඳුන රන් දෝලාවෙහි තබා පෙරහැරෙන් පුල්ලෙයාර් කෝවිල දක්වා ගමන් කර එහි දිය බඳුන තැන්පත් කරයි. අනතුරු ව නැවතත් ගෙඩිගේ විහාරයට පැමිණෙන පෙරහැර, දළදා කරඬුව දළදා මාලිගයට වැඩම කරවයි. එහිදී මාලිගයට ඇතුළුවීමට පෙර මාලිගා චතුරශ්‍රය වටා තුන්වරක් පැදකුණු කිරීම සිරිතයි.

දළදා වීදිය , යටිනුවර වීදිය , හරස් වීදිය , කොටුගොඩැල්ල වීදිය , කන්දෙ වීදිය , ඩී එස් සේනානායක වීදිය ඔස්සේ නුවණ නගරයේ වීදි දිගේ ගමන් කරනු ලබන පෙරහැර අවසානයේ දී දළදා වහන්සේ වැඩමවා ගෙන දළදා මාලිගාවට පිවිසෙනවා. එය පෙරහර ගෙවදීම ලෙස හැඳින්වෙනවා. දළදා පෙරහර අවසන් වන්නේ සධාතුක කරඬුව රැගත් ඇතු දළදා මාලිගාවට පිවිස එයින් සධාතුක කරඬුව යළි දළදා වහන්සේ වැඩසිටින කුටියට වැඩම කරවීමෙනි. එවිට මාලිගා පෙරහර අවසන් වූ බව සැලකෙනවා. ඊට ගෞරවය සඳහා දළදා වහන්සේට ගිලන්පස පූජා කිරීම ඉන් අනතුරුව සිදු කෙරෙනවා.

අනතුරු ව දින ගණනාවක් පුරා පැවැත් වූ සෙංකඩගල ඇසළ පෙරහැර මංගල්‍යය සාර්ථක ව නිම කළ බව සඳහන් පෙරහැර සංදේශය දියවඩන නිලමේවරයා විසින් ජනාධිපතිතුමා වෙත බාර දෙනු ලබන්නේ පෙරහැර අවසන් වූ බවට රජුට දැනුම් දීම යන අතීතයේ සිට පැවත එන චාරිත්‍රයට අනුව යි.

ඇසළ පෙරහැර මංගල්ලයේ විශේෂාංග විස්තරය

1. ආරක්ෂක රථය :- ඇසළ පෙරහැර මංගල්ලයට මෑත ඉතිහාසයේදි එක්වු අංගයකි. පෙරහැර ගමන් ගන්නා මාර්ගයෙහි ඉඩකඩ සලසා දීමත්, ආරක්ෂාව තහවුරු කිරීමත් මෙමගින් සිදුවේ.

2. කස කරුවන්- පෙරහැරේ මුලින්ම ගමන් ගන්නා කස කරුවන් තම කස සකස් කර ගනුයේ හණ හෙවත් නියඳ පඳුරු තුළින් කපා ගත් හණ පත් ලෑල්ලක බැද හණ පතෙහි මතුපිට ගෑවිට මතුවන නුල් ගෙන වේලා සකස්කර ගැනීමෙනි. අඩි 7 ක් පමණ දිගට අග හීන් වනසේ අඹරා බැඳගන්නා කසය අල්ලා ගන්නා කොටස අතට පහසු වනසේ ලණුවලින් හෝ වෙනත් ද්‍රව්‍යයකින් බැද ගැනිම සිරිතය. පැරණියේදි රජදරුවන් බැහැරට ගමන් ගන්නා විට රජු ඉදිරියෙන් කස පුපුරුවමින් යැම සිරිත විය. රජු එන මග ඉඩකඩ සලසා ගැනීමටත්, රජු ලඟ ලඟඑන බව ඇ`ගවීමටත් කස කරුවන් යොදාගන්නා ලදී. එම සිරිත බුද්ධ පුජාමය මංගල්ලයන්හීදි පෙරහැර ගමන් ගන්නා මාර්ගයෙහි ඉඩකඩ සලසා ගැනීමටත්, පෙරහැර ලඟ එන බව සංනිවේදනය කිරීමටත් කස කරුවන් යොදා ගැනීම සිදුවේ. අතිතයේ පෙරහැර පැවැත්වීමේ එක් අරමුණක් වුයේ කලට වැසි ලබාගැනීමය. දළදා කරඩුව දොරට වැඞීමේදී වැස්ස ලැබෙන බවට විශ්වාසයක් පවති. කස පිපිරවීම තුළින් වැස්සට පෙර දසත විහිදෙන විදුලිය කෙටීමේ හඩ හා ස්වරුපය සංකේතවත් කෙරේ.

3. ගිනිබෝල කරුවන්- පෙරහැර ගමන් ගන්නා මාර්ගය දෙපස ආලෝකමත් කිරීමත් මග හෙලි පෙහෙලි කර දීමත් ලඟ ලඟ එන පෙරහැරෙහි ආකර්ෂණය වර්ධනය කොට නරඹන්නන්ගේ නෙත් සිත් පැහැර ගෙන පෙරහැර කෙරෙහි යොමු කරවා බුද්ධාලම්බන ප්‍රීතිය දැනවීමත් මෙමගින් සිදුවේ.

4. බෞද්ධ කොඩි – මේ ලඟ ලඟ ඉදිරියට ඇදෙන්නේ බෞද්ධ ආගමික පෙරහැරක් බව නිරූපණය කර දක්වයි. මෙහිදී එක් ජාතික කොඩියක් ද රැුගෙන යනු ලැබේ. එමගින් මෙම පෙරහැර ජාතික උත්සවයක් ද වන බව අඟවයි.

5. දිසා කොඩිය (රෙදි) – පළමුව හතරකෝරළේ – ඉරහඳ මහ කොඩිය දෙවනුව හත් කෝරළේ සිංහයා මහ කොඩිය ඌවේ හංසයා මහකොඩිය මාතලේ සුදු මහ කොඩිය සබරගමුව කහපාට පටරෙදි මහ කොඩිය තුන් කොරලේ බේරුන්ඩ මහ කොඩිය (දෙහිස් උකුස්සා) වලපනේ මයුර මහ කොඩිය උඩපලාත නෙළුම් මහා කොඩිය නුවර කලාවිය ගජසිංහ මහ කොඩිය වෙල්ලස්සේ කොටියා මහ කොඩිය බිම්තැන්නේ ගිරවා මහ කොඩියා තමන්කඩුව වලහා මහ කොඩිය යන මෙම දිසාවන් 12 සංකේතවත් කෙරෙන දිසා කොඩි 12 ක් ද, 1 උඩුනුවර 6 හේවා හැට 2 යටිනුවර 7 කොත්මලේ 3 තුම්පනේ 8 උඩ බුලත්ගම 4 හාරිස්පත්තුව 9 පාත බුලත්ගම 5 දුම්බර යන නවයට වෙන්වු කොඩි නවය රටේ රාළ වරුන්ගේ යටතේ පැවති රට යන පාලන ඒකකය සංකේතවත් කිරීම සඳහා ද යොදා ගන්නා ලදී. මෙම කොඩි තුළින් ඒ ඒ දිසාව හා රට නියෝජනය කරමින් දිසාවේ වරු හා රටේ රාළලා තම නිල පිරිස සම`ග තමන්ට නියමිත කොඩිය රැුගෙන පෙරහැරට සහභාගි වීම සාම්ප්‍රදායික චාරිත්‍රයක් විය. අද එම නිලකරුවන් සම්බන්ධ නොවන නමුත් මෙම කොඩි රැුගෙන යාම තුළින් සංකේතවත් කරනුයේ පැරණි මහනුවර රාජධානියට අයත් දිසා හා රට නිරූපනය කොට එම බලාධිකාරය සංකේතවත් කිරීමයි.

6. පිත්තල දිසා කොඩි – අංක 5 හා බැඳේ.

7. කඩු ගෙනයන්නෝ- පෙරහැරට ආරක්ෂාව සැපයීම සංකේතවත් කරමින් පැරණි පෙරහැර පෙළගැස්මේ සිට පැවත එන අංගයකි. පෙර රජ දවස රාජකිය හමුදාවේ කඩු ගත් හමුදාව මෙයට සහභාගි වුහ.

8. හස්තියෙකු පිට ගමන් ගන්නා පෙරමුණේ රාළ- මහනුවර රාජ සමයේ අවසාන භාගයේ එක්ව තිබූ අංගයකි. අලියෙකු පිට නැගී යන මොහු නිලකරුවන්ගේ රාජකාරි වාර්තා,ශ්‍රී දළදා මාළිගාවේ දේපල පිළිබද වාර්තා හා පෙරහැර ගමන් ගන්නා මාර්ගය පිළිබඳ වාර්තා සහිත ලේකම් මිටිය සංකේතවත් කරමින් රිදී මංජුසාවක බහා රැුගෙන යාම සිදුකරයි. මොහු සුදු තුප්පොට්ටියකින්, සුදු හැට්ටයකින් හා හිස් වැසුමකින් සැරසී සිටී.

9. හේවිසිකරුවෝ- දවුල්, තම්මැට්ටම්, හොරණෑව, තාලම්පට, කොම්බුව, හක්ගෙඩිය, ගෙජ්ජි යන වාද්‍ය භාණ්ඩයන් භාවිතා කෙරෙති. පුජා හා සංනිවේදනයට විවිධ ගමන් පද වාදනය කරමින් ඉදිරියට ඇදී යන ඔවුහු පෙරහැරේ චමත්කාරය වර්ධනය කරති. එසේම මොවුහු පෙරහැරේ තේජසද ගාම්භීරත්වය ද වර්ධනය කරති. ශ්‍රී දළදා මාලිගාවේ හේවිසි පරම්පරා හතරම දවුල් කණ්ඩායමට ඇතුලත් වීම සුවිශේෂි ලක්ෂණයකි. දවුල් ගැසීමට පැරණියේදි සමත්කම් දැක්වූවන් අතර වැල්ලේතොට පරපුර, මොළදණ්ඩ පරපුර, හේවාවිස්ස, උඩුවෙල, කහල්ල, උඩුපිහිල්ල යන පරපුරවල් බෙහෙවින් දක්ෂ වූහ. එසේම මෙම පරම්පරා අතර මොළගොඩ, ඉහලවෙල, මාලගම්මන වැනි පරපුරවල් වර්තමානයේදී ද ප්‍රසිද්ධියට පත්වී ඇත.

10. ගජනායක නිලමේ- රජතමය අංකුසයක් අතින් ගෙන අලියෙකු පිට ගමන් කරන මොහු ඇත් පන්තියේ නායකත්වය ගත් තැනැත්තා ලෙස පෙර සිටම සංකේතවත් කෙරිණි. පුජාමය මංගල්ලයන්හි අලි ඇතුන් සහභාගි වීම පැරණි රජකාලයේ සිට පැවත එන චාරිත්‍රයකි. විශේෂයෙන් වැසිබර මේඝය සංකේතවත් කර දැක්විම අලි ඇතුන්ගෙන් ඉටුවේ. අනුරපුර පොළොන්නරුව ආදී පැරණි යුගයන්හි අලි ඇතුන්ට අමතරව අසුන් ද පෙරහැරට සහාගි කරවා ගත් බව දක්නට ලැබේ.

11. හොරණෑ වාදකයෝ – දේශීය පංචතූර්ය වාදනයේ සුසිර කොටසට අදාලව මිහිරි නාදයක් උපදවන නළා විශේෂයක් වශයෙන් හොරණෑවට හිමිවන්නේ සුවිශේෂ ස්ථානයකි. හේවිසි වාදනයේදී ද හොරණෑව යොදා ගනී. 2006 වසරේ සිට ශ්‍රී දළදා මාලිගාවේ පෙරහැරට අළුතින් එක් කළ අංගයකි. ජයමංගල ගාථා, ගජගා වන්නම ඇතුළු භක්තිය ප්‍රකාශවන විවිධ නාද මාලා මෙම හොරණෑ වාදන කණ්ඩායම භාවිතයට ගෙන ඇත.

12. චාමර නැටුම :- ශ්‍රී දළදා වහන්සේට සහ රජවරුන් ඇතුලු ප්‍රභුන්ට පවන් සැලීම සඳහා චාමරය යොදාගෙන ඇත. එම කාර්යය විදහා දක්වමින් පසු කාලයක රාජසභා නර්තනයක් වශයෙන් චාමර නැටුම සංවිධානවී ඇත. මෙවලමක් අතැතිව නර්තනයේ යෙදෙන නිසා මෙය ගැමි නැටුමක් ලෙස ද හැඳින්වීමට හැකිය. එහෙත් මේ සඳහා යොදාගෙන ඇති ගායන සහ චලන දෙස බලන විට ගැමි නැටුමක් වශයෙන් හැඳින්වීමට නොහැකිය. කෙසේ වුව ද හුදු විනෝදය සඳහා සරල බෙර පද හා නර්තන ඇසුරු කර ගනිමින් නිර්මාණය වී ඇති චාමර නැටුම මෙම පෙරහරේ සුවිශේෂ තැනක් ගනී.

13. ලී කෙලි කණ්ඩායම :- ඉතා සරල වූ නැටුම් විශේෂයකි. ගෝත්‍රික නැටුම් වලින් ශේෂ වූ නර්තන අංගයකි. හුදු විනෝදය ප්‍රකාශ කිරීම සඳහා සරල බෙරපද සරල කවි, රංග රටා හා සරල චලන යොදා ගනිමින් තාලානුකූලව ලී එකිනෙක ගට්ටනය කරමින් නිර්මාණය වූ ගැමි නැටුම් අංගයකි. උඩරට නැටුම් සම්ප්‍රදායානුකුලව සකසා ගෙන ඇති මෙම නර්තන කාර්යේදි පැරණියේදි සමත්කම් දැක්වුන් අතර, උඩුවෙල, පරණගම, ෙල්වල, පරපුරවල් ප්‍රධාන තැනක් ගනි.

14. පන්තේරු කණ්ඩායම- උඩරට නර්තන සම්පප්‍රදායේ විශේෂ වූ නර්තන අංගයකි. සූවිසි විවරණ, සත්සතියල පන්සාලිස්වසල වැනි නර්තන අවස්ථා පන්තේරු නැටුමෙන් වර්ණවත් වී ඇත. පත්තිනි දේවියන්ගේ සළඹ අනුසාරයෙන් පන්තේරුව සැකසී ඇතිබව ප්‍රකට මතයකි. ගැටබෙරය හෙවත් උඩරට බෙරය මෙහිදී වාදනය සඳහා යොදාගනී. උඩරට නර්තනයට අදාලව සුවිශේෂ කුසලතා දක්වමින් නර්තනයේ යෙදීම පන්තේරු නැටුමේ විශේෂ ලක්ෂණයකි. හිස බදින රෙද්ද කරවට බදින සුරය, කඩුක්කන්තෝඩු, වළලූ, පිජාමාව, අදින රෙද්ද, පච්චවඩම, සිලම්ඹු, කළුලේන්සුව, හවඩිය ඇඳුම් ආයිත්තම් අතර දක්නට හැකිය. අතීතයේදී ඌරුපොල, වේරකේ, අලපලාවල, බූටාවත්ත, බටුගොඩ, මැදගොඩ, කඩිගමුව, බටගල්ල, පාතහේවාහැට පරපුරවල් නම් දැරූහ.

15. තාලම් කණ්ඩායම :- ගැමි නැටුම් විශේෂයකි. තාල වාද්‍ය භාණ්ඩයක්වන තාලම්පට අත ඇතිව, සරල නැටුම් හා ඒ සඳහා නියමිත ගායනා යොදා ගනිමින් ගැට බෙරයේ වාදනයට අනුව සකස්වී ඇති සරළ නැටුම් අංගයකි.

16. හවඩි ද`ගයා :- ලී කෙළි නැටුමෙන් වර්ධනය වූ චමත්කාර නැටුම් අංගයකි. මෙහි විශේෂත්වය වනුයේ ලී කෙළි නැටුමට යොදාගන්නා පොලූ සහ ලණු යොදා ගනිමින් අලංකාර රටා වියමනක් නිර්මාණය කිරීමයි. කණ්ඩායම වටේට නටමින් මැද කණුවක් යොදාගනිමින් ඒ වටා රටා ගෙතීම සහ එම ගෙතීම නැවත ආපසු යථා පරිදි නිදහස් කිරීම නර්තනයේ යෙදෙමින්ම කෙරෙන සුවිශේෂ කාර්යයකි. මෙයද, ගැමි නැටුම් අංගයකි.

17. නෛයියංඩි කණ්ඩායම- හිසවෙස් ආභරණ රහිතව නෛයන්ඩි රංගාභරණයෙන් සැරසුනු ප්‍රවීන ශිල්පීන් විසින් ඉදිරිපත් කරන උඩරට සම්ප්‍රරදායික නැටුමකි. ගැටබෙරය වාදනය සඳහා යොදා ගන්නා අතර උඩරට නැටුමට අදාලවූ කවි ගායනා යොදාගනී. (කණ්ඩායම් දෙකකි) උඩරටට ආවේනික නැටුම් විශේෂයකි. වෙස් නැටුමට පෙරාතුව හැදෑරිය යුතු නැටුම් විශේෂයකි. වෙස් නැටුමට පෙර කලඑලි රංගනයට ද යොදා ගනි. අවුල් හැරය, බන්ඩි වළලූ, උරබාහුව, සිලම්බු, රැුළි මන්තය, යට කලිසම, අටිරියක අදින රෙද්ද, පච්චවඩමල ආදියෙන් ඇඳුම් ආයිත්තම් සමන්විත වේ. අතීතයේ වෙස් නැටුමට සමත්කම් දැක්වූයේ නාරම්පනාව, ඇලඔටුව ගල්දොල යන පරපුරවලය. උඩරට නර්තන සම්ප්‍රදායට අදාලව නර්තන අංගයකි.

18. කඩු සරඹ :- කඩු සරඹ පදනම් කර ගනිමින් ජන නැටුමක් වශයෙන් ජනප්‍රිය වූ නර්තන අංගයකි. ප්‍රශස්ති සහ හටන් ගී මෙහි ගායනා වශයෙන් යොදා ගනී.

19. පන්තේරු නැටුම :- අංක 14 හා බැදේ

20. අත් රබන් :- ශ්‍රී ලංකාවේ රබන් වාදන අතර මහ රබන් අත් රබන් සහ විරිදු රබන් වශයෙන් කොටස් තුනකට වෙන් කළ හැකිය. මෙහි අත්රබන් කොටසට අයත්ව අතින් වාදනය කරමින් රබාන කරකවමින් සුවිශේෂවූ ශිල්ප දක්වමින්, උඩ දැමීම දෑත් වටා කර කැපීම ආදි ශිල්ප දැක්වීම මෙහි වැදගත් ලක්ෂණයකි. රබන් වාදනයට අදාල කවි ගායනා සහ ප්‍රශස්ථ ගායනා යොදා ගනී. යට කලිසම මදක් ඉහළින් අදි, දුඹුරු පාට රෙද්ද, මන්තය, අවුල් හැරය කඩුක්කන්, සිලම්ඹු, ඇදුම් පැළදුම් වශයෙන් භාවිතා කෙරේ.

21. තාලං නැටුම :- අංක 15 හා බැදේ

22. පන්තේරු නැටුම :- අංක 14 හා බැදේ

23. වේවැල් නැටුම :- වේවැල් අතින් ගෙන රංග රටා නිර්මාණය කරමින් රංගනයේ යෙදෙන විශේෂිත වූ ගැමි නැටුමකි. මෙහි නැටුමට වඩා ආකර්ශණීය වූ රංග රටා සමූහයකින් යුක්තය. දික්වූ වේවැල් කෙලවර අල්ලාගෙන කණ්ඩායමේ එකිනෙකා මාරුවෙමින් ෙප්‍රක්ෂක සිත් ඇද ගනිමින් රංගනයේ යෙදේ. ගායන හා වාදන සඳහා විශේෂ තැනක් හිමි නොවේ.

24. උඩැක්කි නැටුම :- ආතත භාණ්ඩයක් වන උඩැක්කිය අතින් ගෙන එක් අතකින් වාදනය කරමින් බුදු ගුණ ගයමින් එයටම ආවේණික වූ රංග වස්ත‍්‍රාභරණයකින් සැරසී සරල නැටුමක් ඉදරිරිපත් කිරීම මෙහි විශේෂත්වයයි. පෙරහර අංගයක් වශයෙන් සැකසීමේදී විශේෂිත වූ රංග රටා යොදාගනිමින් අත් වාරු ආදිය ඇතිව වාදනයේ යෙදෙමින් රංගනයේ යෙදේ.

25. නෛයියංඩි කණ්ඩායම :- අංක 17 හා බැදේ

26. කඩු නැටුම් කණ්ඩායම :- අංක 18 හා බැදේ

27. තම්මැට්ටම් වාදන කණ්ඩායම :- පංච තූර්ය්‍ය වාදන භාණ්ඩයක් හා හේවිසි වාදන භාණ්ඩයක් වශයෙන් විශේෂ තැනක් ගන්නා තම්මැට්ටම පමණක් යොදා ගනිමින් ඉදිරිපත් කරන වාදන කණ්ඩයකි. 2006 වසරේ සිට මෙම පෙරහරට අළුතින් එක්කළ ඉතා වැදගත් වූත් ශාස්ත‍්‍රීය වශයෙන් වටිනාකමකින් යුතු වූත් දක්ෂ වාදන කණ්ඩායමකි. තම්මැට්ටම් වාදනය සඳහා උඩුනුවර, ඇරව්වාවල, හේවාවිස්ස, යකාවෙල, රිදීගම යන පරපුරවල් නම්දරා සිටියහ.

28. රබන් රංගන කණ්ඩායම :- අංක 20 හා බැදේ

29. පන්තේරු නැටුම :- අංක 14 හා බැදේ

30. පතුරු නැටුම් කණ්ඩායම :- ලී පතුරක් අතැතිව නටන ගැමි නැටුමකි. නැටුමට ආවේණික කවි ගායනා සහ වාදන යොදාගෙන ඇත. ගැමි නැටුමක් වශයෙන් ප්‍රචලිත වූ පතුරු නැටුම විචිත්‍ර වූ රංග රටා හා චලන යොදා ගනිමින් තාලයට අනුව අත් හා පාද සමග ඝට්ඨනය කරමින් නර්තනයේ යෙදෙන නිර්මාණාත්මක නර්තන අංගයකි.

31. උඩැක්කි නැටුම :- අංක 24 හා බැදේ

32. වෙස් කණ්ඩායම :- උඩරට නැටුමේ මුදුන් මල් කඩ වූ වෙස් නැටුම ශ්‍රී ලංකාවේ පමණක් නොව විදේශයන්හි ද ප්‍රචලිත නැටුම් විශේෂයකි.ප්‍රවීන ශිල්පීන් විසින් මෙම නැටුම ඉදිරිපත් කෙරේ. උඩරට නැටුමට අදාල කවි ගායනා කරමින්ප්‍රරවීන වාදන ශිල්පීන්ගේ බෙර වාදනයට අනුව ඉදිරිපත් කරන මෙම වෙස් නැටුමශ්‍රී දළදා කරඬුව සහ ගරු දියවඩන නිළමේ තුමා ඉදිරියේ කණ්ඩායම් දෙකක් වශයෙන් රංගනයේ යෙදේ. මහනුවර ඇසළ පෙරහරේ සුවිශේෂ වූ මෙන්ම ගෞරවාදරයට පාත‍්‍රවූ නර්තනය වන්නේද උඩරට වෙස් නැටුමයි. මෙම නර්තන අංගය මහනුවර ඇසළ පෙරහැර මංගල්ලයට එක්වී ඇත්තේ ක්‍රි.ව 1919 සිට බව කියවේ.

33. කාරිය කරවන කෝරාළ- ඔහුට අයත් සුවිශේෂී කාර්යයන් අතර වැඩමවන පෙරහැර කරඬුව භාරව ගමන් කිරීම වැදගත් රාජකාරියක් වශයෙන් සැලකේ. සුදු තුප්පොට්ටිය, සුදු හැට්ටය හා හිස් වැසුම ඔහුගේ නිල ඇදුමයි.

34. නාගසිංහම්- නානුමුර මංගල්ලය හා විශේෂ උත්සව මංගල්ලයන්හිදි ශ්‍රී දළදා මාලිගාවේ සිදු කෙරෙන වාදනයන් අතර මෙය ද වැදගත් තැනක් ගනි. නාගසිංහම්, තබ්බෝරුව, උඩැක්කිය, කයිතාලම ඔවුන්ගේ වාද්‍ය භාණ්ඩයි. මෙය හින්දු බලපෑම තුළින් සකස් වූවක් ලෙස කල්පනා කරති.

35. උඩු වියන් සහිත පාවඩ මතින් කරඩුව වඩමවන මංගල හස්ති රාජයා සම`ග දෑලේ ඇතුන් දෙදෙනා:- පෙරහැර කරඩුව වැඩමවන හස්ති රාජයා වශයෙන් වසර පනහක් පමණ තිස්සේ අද ජාතික උරුමයක් බවට පත්ව ඇති රාජා ඇතා යොදා ගන්නා ලදි. ඉන්පසු බොහෝ විට වසරින් වසරට වෙනත් ඇතුන් මේ සඳහා යොදාගෙන ඇත.

36. බෞද්ධ කොඩි 02 රැගෙන යාම

37. කවිකාර මඩුව :- ශ්‍රී දළදා මාළිගාවේ කවිකාර මඩුව මෙයට සහභාගි වේ.

38. මල් පහන් ගෙනයන්නෝ- මෙයද පැරණියේ පවතින චාරිත්‍රයකි. මෑත අතීතයේදි නැවත ඇති විය.

39. වෙස් නැටුම්- අංක 32 හා බැදේ

40. දියවඩන නිලමේතුමා- ක්‍රි. ව. 1814 සිට දියවඩන නිලමේවරු 19 දෙනෙකු නිල කාර්යයෙහියෙදි ඇති අතර 19 වන දියවඩන නිලමේවරයා වශයෙන් ප‍්‍රදීප් නිලංග දෑල දියවඩන නිලමේවරයා මෙම පෙරහැරට සහභාගි වේ.

41. දෙපස මුරායුධ කරුවන් හා මුතුකුඩය :-

42. බුරුම කොඩි 02 ක්

43. ගම් දහයේ විදානේවරු :- අතීතයේදි විදානේවරු 09 දෙනෙකු සහභාගි වූ අතර වර්තමානයේදී 13 දෙනෙකු සහභාගි වෙති. මොවුහු නිල ඇදුමින් සැරසී දියවඩන නිලමේතුමාට පසු පසින් ගමන් කරති.

44. මෙතැන් සිට දළදා මාලිගාව පෙරහැරට පසු නාථ, විෂ්ණු, කතරගම, පත්තිනි සව්මහා දේවාලයන්හි පෙරහැර අනුපිළිවෙලට ගමන් කෙරෙනු ඇත.

නාථ විෂ්ණු කතරගම පත්තිනි යන සිව්මහා දේවාල

සිව්මහා දේවාලයන්හි පෙරහැර: නාථ විෂ්ණු කතරගම පත්තිනි යන සිව්මහා දේවාලයන්ගෙන් නාථ විෂ්ණු පත්තිනි දේවාල තුන ශ්‍රී දළදා මාළිගාව ආසන්නයේ පිහිටා ඇති අතරල මහනුවර ශ්‍රී කතරගම දේවාලය කොටුගොඩැල්ල වීදියේ නගරය මධ්‍යයේ පිහිටා ඇත. මෙයින් නාථ හා පත්තිනි දේවාල දෙක දළදා මාළිගා චතුරශ්‍රය තුළ ප්‍රාකාරයකින් වටවී තිබෙනු දැකිය හැකිය. ශ්‍රී දළදා මාළිගාවේ සතර මංගල්ලයන්හිදි මෙම සිව් මහා දේවාලය ද වැදගත් වේ. විශේෂයෙන් 1753 වර්ෂයෙන් පසු කිර්ති ශ්‍රී රාජසිංහ රජු දවස සිට වර්තමානය දක්වා ශ්‍රී දළදා මාලිගාව පෙරටුකොට මෙම දේවාල හතර නාථ විෂ්ණු කතරගම පත්තිනි යන අනු පිළිවෙලට පෙරහැරේ ගමන් කරනු දක්නට ලැබේ.

ශ්‍රී නාථ දේවාලය ඇසළ පෙරහැර මංගල්ලයේ පෙළගැස්ම අනුව ශ්‍රී දළදා මාළිගාවේ පෙරහැරට පසුපසින් ගමන් කෙරෙන පළමු දේවාල පෙරහැර නාථ දේවාලයේ පෙරහැරයි. නාථ දේවාලය කැපවී ඇත්තේ මතු බුදුවන නාථ දෙවියන් වෙනුවෙනි. ගම්පල රාජධානිය කොට ගත් තුන්වන වික්‍රමබාහු රජු (ක්‍රි.ව 1360-1375) නව රාජධානියක් පිහිටුවීම සඳහා රාජපුරුෂයන් මගින් ජය භූමියක් සෙවීය. ඒ අනුව සෙංකණ්ඩ නම් බමුණා රාජපුරුෂයන්ගේ ඉල්ලීම අනුව තමා සිටි ලෙන අසලින් ගල්කැට කිපයක් රැුගෙන ඉන් එක් ගල් කැටක් අසල තිබු පදුරකට වීසි කළ විට ඉන් සුදු හාවෙකු මතු විය. තවත් ගල් කැටයක් වීසි කළ විට සිවෙලෙකු මතු වු අතර, එම සිවලා විසින් හාවා ලූහුබදිනු ලැබීය. හාවා තමා සැගවී සිටි පදුර අසල ගස්බිලය දක්වා දුවවිත් ආපසු හැරී සිවලා පසුපස ලූහු බැන්දේය යන සිද්ධියක් දල කොටියකු විසින් ලූහුබදිනු ලැබු මුවෙක් මෙම භූමියට පැමිණ ආපසු හැරී කොටියා පසුපස ලූහුබදින ලද සිද්ධියක් ද, යන ආශ්චර්යවත් දේ අනුව මෙය ජයභූමියක් වශයෙන් සෙංඛණ්ඩ නම් බමුණා වෙතින් දැන රජතුමාට දැන්වීමෙන් පසු තුන්වන වික්‍රමබාහු රජතුමා විසින් මෙම ස්ථානයෙහි සෙංකඩගලපුරය හා නාථ දේවාලය ගොඩ නැන්වු බව කියවේ.

බමුණාගේ නමින් එම නගරය සෙංකඩගලපුරය නම් වී ඇතැයි පුරා වෘත්තයන්ගෙන් කියැවේ. එසේම චුලබෝධි වංශයට අනුව දෙවන පෑතිස් රජු දවස නාථ නම් බ‍්‍රහක්මණයෙකු විසින් ගෙන එන ලද දෙතිස් පලරුහ බෝධින් වහන්සේ රෝපණය කළ තැන එම බමුණා නමින් නාථ නම් වී යැයි පැවසෙන මතයක් ද පවති. මෙම දේවාල ගොඩනැගිල්ල සෙංකඩගලපුර ඇති පැරණිම ගොඩ නැගිල්ලකි. ශ්‍රී දළදා මාළිගාවටත් පෙරාතුව මෙම ගොඩනැගිල්ල ඉදිකළ බව කියවේ. මහනුවර රජවරු ඔටුනු පැළදවීම. කඩු කරලීම සිදුකළේ ද රජුට නමක් තැබීමේදි පුස්කොළ වල ලියන ලද නම් කිපයක් නාථ දෙවියන් ඉදිරියේ තබා නමක් තෝරාගැනිම සිදුකළේ ද නාථ දෙවියන් ඉදිරියේය. කප් සිටුවීමේදි කපෙහි මුල් කොටස බෙදාදෙනුයේ ද, දිය කැපුම් මංගල්ලයේදි පළමුව ගැටඹේ තොටට බැසීමට හැක්කේ දල නාථ දේවාලයටයි. නාථ දෙවියන්ගේ වර්ණය කහ වශයෙන් දල හංසයා රථය වශයෙන් ද යොදා ගැනේ. මෙම දේවාලයේ පෙරහැර පෙළගැසෙනුයේ ද දළදා මාලිගාවේ පෙළගැස්මට බොහෝ සෙයින් සමානවය.

විෂ්ණු දේවාලය ඇසල පෙරහැරෙහි ගමන් ගන්නා දේවාල පෙරහැර අතර දෙවනුවට ගමන් කරනුයේ විෂ්ණු දේවාලයේ පෙරහැරයි. ගුරුළු වාහනාරුඩව දස අවතාරයෙන් පෙනිසිටිමින් සියලූ ලෝ සතුනට සෙත් ශාන්තිය සලසන මතු බුදු බව පතන, බුද්ධ ශාසන භාරධාරිව ආරක්ෂාව සලසන විෂ්ණු දෙවියන් වෙනු වෙන් මෙම දේවාලය කැප කොට ඇත. මෙම දෙවියන් වෙනුවෙන් කැපවු ප්‍රධාන දේවාල කිපයක්ම දිවයිනේ පිහිටා තිබේ. කොලොන්තොට සිට මහනුවරට විහිදී ඇති ප්‍රධාන මාර්ගයෙහි පිහිටා තිබෙන අලූත් නුවර දේවාලය විෂ්ණු දෙවියන් උදෙසා කැපවුනු එවැනි පැරණිතම දේවාලයකි. පැරණියේදි මහනුවර ඇසල මහා පෙරහැරට පෙරින් පෙරහැර පැවැත්වෙන අලූත් නුවර දේවාලයේ සිට කප පේකොට සිව් මහා දේවාලයන්ට කප් සිටුවීම සඳහා භාරදුන් බව කියවේ. මහනුවර රාජධානියෙහි විෂ්ණු දේවාලය ගොඩනැගිමෙන් අනතුරුව මහ දේවාලය වශයෙන් එය හැදින්වීමට පටන් ගති. රජවරුන් අභිශේෂකයෙන් පසු නළල් පටය බදිනු ලැබීමේ චාරිත‍්‍රය ඉටුකරනු ලැබුයේ මෙම දේවාලයේ සිට බව කියවේ. ඇසළ මහා පෙරහැරේ කප් සිටුවීමට කප බෙදා දෙන දේවාලය වශයෙනුත් පෙරහැරින් පසු සිදුවන වලියක් නැටුම පැවැත්වෙන දේවාලය වශයෙනුත් මෙම දේවාලය සුවිශේෂ ස්ථානයක් ගනි.

කතරගම දේවාලය 14 වන සියවසරේදි පමණ ආරම්භ වූ බව සැලකෙන මහනුවර කතරගම දේවාලය 16 වන සියවසරේදි වඩාත් ජනප්‍රිය විය. මෙම දේවාලය ස්කන්ධකුමාර හෙවත් කතරගම දෙවි නමින් කැපවී ඇත. කැති නැකතින් උපන් කතරගම දෙවියන් උදෙසා කෙරුණු ප්‍රධාන දේවාලය රුහුණේ කතරගම පිහිටා ඇත්තේය. මුහුණු සයකින් හා අත් දොළොසකින් රක්න වර්ණයෙන් මයුරාපිට වැඩ සිටින කතරගම දෙවියන් උදෙසා කෙරෙන නර්තනයන් අතර කාවඩි නැටුම සුවිශේෂි තැනක් ගනි.

පත්තිනි දේවාලය ශ්‍රී දළදා මාලිගා චතුරස්‍රයේ පිහිටුවා ඇති පැරණි ගොඩනැගිලි වලින් එක් ගොඩනැගිල්ලක් වශයෙන් පත්තිනි දේවාලය ද සැලකේ. පති භක්තිය රැකි උත්තම කාන්තාවක් ලෙස පුජෝපහාරයට පත්වන පත්තිනි දේව මැණියන් සත් වාරයක් ඉපදී ඇතැයි, ජනප්‍රවාදයන්හි දැක්වේ. වරෙක ජලයෙන් දල තවත් වරෙක මලෙන් ද තවත් වරෙක නයි කදුලෙන් ද, තවත් විටෙක කදුරු පොත්තෙන් දල තවත් විටෙක පිණි බිදුවෙන් ද, තවත් වරෙක හෙණෙන් ද, අවසන අඹෙන් ද, උපන් බව පත්තිනියාදින්නෙහි සඳහන් වේ. විශේෂයෙන් පත්තිනි ඇදහිල්ල තුළින් කුඩා දරුවන්ට හා කාන්තාවන්ට සෙත් සැලසෙන බව විශ්වාස කෙරෙන අතර, සැඟවුණු ලෙඩ රෝග, කුෂ්ට රෝග, සුවපත් කරගැනිමට හා දරුවන් නොමැති අයට දරුවන් ලබාගැනිමට භාර හාර වන, උත්තම දේවතාවියක් ලෙස පත්තිනි දේව මැණියෝ අදහති. පත්තිනි දේවාලයේ පෙරහැර ඇසළ පෙරහැරේ අවසානයට ගමන් ගන්නා දේවාල පෙරහැරයි. මෙම දේවාල පෙරහැරේ වැඩමවන ඇතා පිට බැඳි රන්සිවිගෙය තුළ තැම්පත් කර තිබෙනුයේ පත්තිනි දේව මැණියන්ගේ රනින් නිමවු කුඩා ප්‍රතිමා වහන්සේ නමකි.

 ලෝකේකනාථ වදනම්බුජ රාජහංසං වේනෙය්‍ය කෝමුද වනං වලිසීතරංසි අද්ධින්දුකාර වරරූප විරාජමානං වන්දාමි සාධුමමලං ජිනදන්තධාතුං

දෙවියන් සහිත ලෝකයාට එකම පිහිට වූ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛය නමැති නෙළුම් විලට, රාජ හංසයකු වැනි වූ හික්මවිය යුතු ජනයා නමැති කුමුදු විල පුබුදු කරන්නා වූ, චන්ද්‍රයා වැනි වූ අඩසඳ මෙන් උතුම් රූපයකින් විරාජමාන වූ, බුදුරජාණන් වහන්සේගේ නිර්මල වූ ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ මනා කොට වන්දනා කරමි.

උපුටාගනීමකි.

Reference(s): Sri Dalada Maligawa |

Affiliate Disclosure: As an Amazon Associate, I earn from qualifying purchases. This blog post may contain other affiliate links as well by which I earn commissions at no extra cost to you. 

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

SA Graphics Official